Sunday, May 19, 2013

ඉබි පැටියා



ඉබි පැටියා
ලියන්නේ ගීතිකා සෙනෙවිරත්න.
අඳින්නේ ජයන්ත රන්දෙනිය
කතෘ ප්‍රකාශනයක් ලෙස එළිදකින ඉබිපැටියා ළමා කතාව  සාමාන්‍ය යෙන් 3 හා  4 ශ්‍රේණිවල සිසුන් ගේ කියවීම් මට්ටම ස්පර්ශ කරයි. ලංකාවේ සාමාන්‍ය යෙන් දක්නට ලැබෙන කොයි ළමයාටත් සුදුසු මොඩලයන් ලෙස දක්වන එහෙත් මොනම ළමයෙකුටවත් නොගැලපෙන ළමා කතාන්දර මොඩලයෙන් ඉවත්වීමට ගෙන ඇති ප්‍රයත්නය අගය කල යුතුය.
කතාන්දරයේ එන චරිත කිහිපයකි.රුවන්, දිලීප සහ සාමා ළමා චරිත තුනක් වන අතර ඉබිපැටියා මෙහි එන සත්ව චරිතයකි.අම්මා, තාත්තා, ආච්චි, සීයා සහ සෝමා නැන්දා සෙසුචරිත වේ.කථාවේ ප්‍රධාන චරිතය දිලීප සහ ඉබි පැටියා අතර බෙදීයන බවක් හෝ ප්‍රධාන චරිතය ඉස්මතුකිරීමට ලේඛකයා අපොහොසත් වූවාදැයි සැකයක් හටගනී.ගෙවත්තේ බයිසිකලය පදිද්දී හමුවන ඉබිපැටියා සුරතලකු ලෙස නිවසේ සාමාජිකයෙක් බවට පත්කරගැනීමට දිලීප කරන උත්සාහය සහ ඊට ඉබිපැටියා යහපත් ලෙස ප්‍රතිචාර නොදැක්වීම නිසා කථාවට ගැටුමක් නිර්මාණය වේ. ගැටුමේ ප්‍රතිඵලය වන්නේ ඉබිපැටියා අතුරුදන්වීමයි.කථා කරුවා ගැටළුව නිර්මාණය කරනුයේ ඉබිපැටියා  නැවත ගෙන්වා ගැනීමේ උත්සාහයන් සමඟයි.කථාකරුවා දිලීපට නැවුම් ප්‍ර වේශයන් ලබා දෙමින් ඉබිපැටියා සඳහා මං සලකුණු සකස් කරන අතර  එය චිත්‍රප්‍රදර්ශණයක් බවට පත්කිරීමෙන් පාඨකයා අතරමං කරයි.
මෙම කෘතිය සඳහා චිත්‍ර නිර්මාණය කරමින් ජයන්ත රංදෙනිය කෘතිය උදෙසා මහඟු මෙහෙවරක් ඉටු කරයි.මෙහි එන ඉබි පැටියා චිත්‍රය උසස් ළමා සාහිත්‍ය වටිනාකමකින් යුක්ත බව පෙනේ. දරුවන් ප්‍රිය  කරන වර්ණ යොදාගනිමින්  සහ අදාල පරිදි  අන්තර්ගතය හා රූපය එකම පිටුවට ගලපා ගනිමින් චිත්‍ර යොදා ඇත. එකම බයිසිකලය බෙදා හදා ගැනීම, දුකේදී එක්ව විසඳුම් සෙවීම, වැනි සමාජමය අගයයන් අත්සාහයකින් තොරවම නිරූපණය වේ.  දරුවා ඉබි පැටියාගේ රුචිකත්වයන් සොයාගැනීමට දරන උත්සාහය හොඳින් නිරූපණය වි ඇති බව පැවසිය යුතුමය.
භාෂා භාවිතය පිළිබඳවද සමස්ථ වශයෙන් හොඳ මට්ටමක පවතී. කතුවරිය බබා යයි පදයක් භාවිතා කිරීම කොතරම් උචිතද යන්න සළකා බැලිය යුතුය. මන්ද බබා යනු දරුවන්ගේ වචනයක් නොවේ. එය දරුවන් උදෙසා වැඩිහිටියන් යොදන වදනකි.
මෙහි අන්තර්ගතය තුල එන  මං සලකුණු සොයා ඉබි පැටියාගේ ආගමනය දරුවන්ගේ විවේචනයට ලක්විය හැකියයි මේ ලියන මා සිතූ නමුදු පරීක්ෂාවට ලක්වූ සිසුන් අතරින් එවන් ප්‍රතිචරෙ නොලද බවද සටහන් කරමි.

ආර්. හච්. එන්. නන්දසිරි
R H N Nandasiri
Research  Team member of  National Institute of Library and Information Science, University of Colombo
DDE , School Library development Unit, Ministry of Education